ඉන්දියාව ප‍්‍රබල ස්ථානයක… සදීර පිටියෙන් ඉවතට

ඉන්දියානු කන්ඩායම හා සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ දෙවන දිනය අදයි.මේ වන විට සිය ප‍්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ඉන්දියානු කන්ඩායම කඩුලු 04ක් දැවි ලකුණු 402ක් ලබා ප‍්‍රබල තත්වයක පසුවන අතර නෙදැවී පන්දුවට පහරදෙන විරාත් කෝලි ලකුණු 170ක්ද රෝහිත් ශර්මා ලකුණු 23ක්ද ලබා සිටියි

විරාට් කෝලී සහ මුරලි විජේ විසින් තෙවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 283 ක සම්බන්ධතාවය හේතුවෙන් ඊයේ(02 වැනිදා) පළමු දිනය සදහා තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 371 ක් රැස්කරමින් තරගයේ වැඩි වාසි හිමිකර ගැනීමට සමත්විය.දිවා ආහාරයට පෙර කඩුලු 2 ක් දැවී ලකුණු 116 ක් රැස්කළ ඉන්දීය පිතිකරුවෝ දිවා ආහාරයෙන් පසුව තේ පානය දක්වා කාළය තුළ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් ලකුණු 129 ක් ද තේ පානයෙන් පසුව දිනය නිමාවන තෙක් කාළය තුළ කඩුල්ලු 2 ක් ලබා දෙමින් ලකුණු 126 ක්ද රැස්කළහ.ලකුණු 5000 සිමාව පසුකළ 11 වැනි ඉන්දීය පිතිකරුවා බවට පත්වීමට විසිවැනි ටෙස්ට් ශතකය රැස්කළ විරාට් කෝලී සමත් වූ අතර එම සිමාව අඩුම ඉනිම සංඛ්‍යාවකදී (105) පසුකළ සිවුවැනි පිතිකරුවාද විය. නායකත්වයට පත්වීමෙන් අනතුරුව ලකුණු 3000 ක් රැස්කිරීමටද කෝලී ඊයේසමත්විය.ශ්‍රී ලංකාව සමගින් සහභාගීවූ අවසන් තරග 5 තුළදී ද්විත්ව ශතකයක් සහ ශතක දෙකක් සමගින් ලකුණු 478 ක් රැස්කිරීමට විරාට් කෝලී සමත්වී ඇත.ඩිල්රුවන් පෙරේරා විසින් තරගයේ යවන ලද 64 වැනි ඕවරයේදී ලකුණු 103 ක් රැස්කරගෙන සිටි විරාට් කෝලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීම සදහා කළ ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරු විසින් එය ප්‍රතික්‍ෂේප කළේය.

නායක දිනේෂ් චන්දිමාල් පන්දුයවන්නා සහ අනෙක් ක්‍රීඩකයින්ගෙන් විමසීමෙන් අනතුරුව විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියද පුණරූපන නැරඹූ තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟවීම හේතුවෙන් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ එක් අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අහිමිවී ගියේය.පිතිකරු පන්දුවට පහරදෙන ආකාරය හොදින් නිරීක්‍ෂණය කළ දිනේෂ් චන්දිමාල් විසින් ලෙග් ස්ලිප්හී පන්දු රැකීම සදහා සධීර සමරවික්‍රම යොදවා ගනිමින් චෙතේෂ්වර් පුජාරාගේ කඩුල්ල දවා ගැනීමට සමත්විය. ළහිරු ගමගේගේ පන්දු යැවීම හමුවේ ලකුණු 23 ක් රැස්කර සිටි පුජාරා දැවීයන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 78 කට කඩුලු 2 ක් විය.සුරංග ලක්මාල්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩු තරග සංඛ්‍යාවකදී කඩුලු 100 ක් දවාගැනීමේ වාර්තාවට හිමිකම්කි ඩිල්රුවන් පෙරේරා විසින් ශීකරු ධවාන් දවාගනිමින් තරග 25 කදී මෙම දස්කම කිරීමට සමත්විය. තරග 27 කදී කඩුලු 100 ක් දවාගනිමින් මුත්තයියා මුරලිදරන් විසින් මීට පෙර එම වාර්තාවට කිමිකම් දැරීය.සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස්කළ මුරලි විජේ ලකුණු 155 ක් රැස්කර සිටියදී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවන් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය.

දෙවැනි ටෙස්ට් තරගයේදීද ශතකයක් රැස්කළ මුරලි විජේ පිට පිට තරග දෙකකදී ශතක රැස්කළ අතර අවසන් තරග 10 තුළදී ශතක 4 ක් සහ එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 713 ක් රැස්කිරීමට සමත්වී ඇත.මෙම තරගාවලියේදී නැවතත් අසාර්ථක පිතිහරඹයක නිරතවූ අජින්ක්‍යා රහනේ ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය. ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ දැවීයන විට අජින්ක්‍යා රහනේට රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 229 ක් රැස්කළ රහනේට මෙම තරගාවලියේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 7 ක් පමණි.

සදීර සමරවික්‍රමට CT ස්කෑන් පරීක්ෂණයක්..

මේ අතර ඊයේ දිනයේදී ‘forward short leg’ ස්ථානයේ පන්දු රකිමින් සිටින අතරතුර සදීර සමරවික්‍රමගේ හිස් ආවරණයේ පන්දුවක් ගැටීමෙන් පසුව ඔහුව ‘CT Scan’ පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහුව විවේක ගන්වන ලෙසට උපදෙස් ලැබී ඇත.ඒ හේතුවෙන් ඔහු අද දිනයේ ක‍්‍රීඩා නොකරයි.දිල්රුවන් පෙරේරා යොමු කළ තරගයේ 30 වන පන්දු වාරයේ අවසන් පන්දුවේ දී මුරලි විජේ එල්ල කළ පහරක් හමුවේ මෙසේ සදීර සමරවික්‍රමගේ හිස් ආවරණයේ පන්දුව ගැටීම සිදුවිය.එම සිදුවීමෙන් අනතුරුව ද සදීර පන්දු රැකීමේ නිරත වූ නමුත් එහි දී විනිසුරු නයිජල් ලෝන්ග් ඔහුගේ තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා පිටියට කැඳවන ලදි.

එහි දී ඔහුව පිටියෙන් ඉවත් කෙරුණු අතර අනතුරුව ඔහුව ‘CT Scan’ පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව ඔහුගේ තත්වය පිළිබඳව අවදානමක් නොමැති බව තහවුරු කර ගන්නා ලදි.මුරලි විජේගේ පිතිකරණය හමුවේ සදීර හට මෙවන් සිදුවීමක් සිදු වූයේ අඛණ්ඩව දෙවන වරටයි. මීට පෙර නාග්පූර් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ද රංගන හේරත් යොමු කළ පන්දුවකට විජේ එල්ල කළ ‘sweep’ පහරක් හමුවේ පන්දුව සදීරගේ පපුවේ වැදීම හේතුවෙන් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සිදු විය. කෙසේ නමුත් එහි දී ද ‘X-ray’ පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව තහවුරු වූයේ ඔහුගේ තත්වය පිළිබඳ අවදානමක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *